හැඟීම් හඳුනා ගැනීම

Without Borders Sri Lanka
3 min readMay 24, 2021

--

හැඟීම් යන වචනය ප්‍රංශ භාශාවෙන් පැවත එන වචනයක් වන අතර එය ච්ත්තවේග යනුවෙන්ද හඳුන්වනු ලබයි. හැඟීම් යනු අපේ ශරීරයේ ඇතිවන උත්තේජනයන්ට දක්වන ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස අර්ථ දැක්විය හැකිය. හැඟීම් පිලිබඳ තව දුරටත් අවබෝධ කර ගැනීමට අපි උදාහරණයක් බලමු.

සහන් පාරේ ඇවිද යමින් සිටී.
මේ අතරතුර ඔහු බල්ලෙකු දකී. සහන් බොහෝ සේ බියට පත් වේ. ඔහු වෙව්ලීමට පටන් ගත් අතර ඔහු දහදියෙන් තෙත් වේ.
සහන්ට ඇතිවූ බිය නිසා ඔහු පසුපස නොබලාම දිවීමට පටන් ගත්තේය.

මෙම අවස්ථාවේදී සහන්ට දැනුනු හැඟීම වන්නේ “බියයි”.මාර්ගයේ සිටි බල්ලා කෙරේ ඇති වූ බිය හේතුවෙන් ඔහු පසුපස නොබලා දුවයි. මෙයින් හැඟෙන්නේ සහන්ට දැනුනු හැඟීමට අනුව ඔහුගේ හැසිරීමද වෙනස් වන බවයි.

අපි බොහෝ විට පුරුදු වී සිටින්නේ අන් අයගේ මුහුණේ ඉරියව් අධ්‍යනය කර ඔවුන්ගේ හැඟීම් යම්තාක් දුරට උපකල්පනය කිරීමටයි. යමෙකු සිනහ වී සිටින්නේනම් අපි ඔවුන් සතුටින් සිටී යැයි සිතමු. යමෙකු හැඬුම්බර/ දුක්බර මුහුණකින් සිටින්නේ නම් ඔවුන් දුකින් සිටින බව අප විසින් උපකල්පනය කරනු ඇත. එබැවින් අපි එකිනෙකාට කෙතරම් වෙනස් වුවත්, කුමන සංස්කෘතියකට අයත් වුවත් අපගේ මුහුණේ ඉරියව් අධ්‍යයනය කිරීමෙන් එකිනෙකාගේ හැඟීම් හඳුනා ගැනීමේ හැකියාව පවතී. මෙම හැඟීම් අතුරින් ලෙහෙසියෙන් හඳුනාගැනීමට හැකිවන්නේ අපට දැනෙන මූලික හැඟීම්ය.

මූලික හැඟීම්

වර්ණ දෙකක සංයෝජනයකින් තවත් වර්ණයක් සෑදීමට හැකි බව අපි දනිමු. එසේම, මූලික හැඟීම් දෙකක් හෝ වැඩි ගණනක් එකට එකතු වූ විට අපට මිශ්‍ර හැඟීම් දැනේ. කෙසේ වෙතත්, මෙම මිශ්‍ර හැඟීම්, පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වේ.

නිදසුනක් වශයෙන්,

වෛරය යනු, බිය, කෝපය සහ පිළිකුල යන මූලික හැඟීම් ත්‍රිත්වය එකිනෙක හා සංයෝජනය වීමෙන් ජනනය වූ මිශ්‍ර හැඟීමකි.

තවද, අපගේ හැඟීම් ධනාත්මක සහ ඍණාත්මක ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය.

අපි ධනාත්මක හැඟීම් අත්දැකීමට ප්‍රිය කරන අතර, එම හැඟීම් යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපකාරී වේ. අප ජීවත්වන්නේ ධනාත්මක හැඟීම් සමග නම් සෑම දෙයකටම සාර්ථක ව මුහුණ දීමට, ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීමට සහ නිරවුල් මනසකින් සිටීමට බොහෝ දුරට හැකිවේ.

කෝපයෙන් සිටින අවස්ථාවක් හා සසඳන විට අප සතුටින් සිටින අවස්ථාවලදි ගන්නා තීරණ බොහෝ විට සාර්ථක වීම මේ සඳහා කදිම නිදසුනකි.

ඍණාත්මක හැඟීම් යනු අප විසින් අත්දැකීමට ප්‍රිය නොකරන හැඟීම් වේ. දුක, කෝපය, වෛරය සහ ඊර්ෂ්‍යාව ඍණාත්මක හැඟීම් සඳහා උදාහරණ කිහිපයක් වේ. අප නිතර ඍණාත්මක හැඟීම් සමග ජිවත් වන්නේ නම් අපගේ මානසික සෞඛ්‍ය ක්‍රමක්‍රමයෙන් අයහපත් අතට හැරේ. ඔබ ගැන ඔබට තිබෙන විශ්වාසය සහ ආත්මාභිමානය පිළිබඳව ගැටළු පැනනගී. එසේ වූ විට තීරණ ගැනීමේ හැකියාව සහ යමක් නිවැරදිව අවබෝධ කරගැනීමේ හැකියාව හීන වේ. මෙම ඍණාත්මක හැඟීම් ඔබට ඔබ පිළිබඳව මෙන්ම අන් අය පිළිබඳවද අවිශ්වාසයක් ඇති කරවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා කෙනෙකු තුල ඍණාත්මක හැඟීම් පැවතීමද වැදගත්ය. මන්ද අපට ඍණාත්මක හැඟීමක් දැනුනු විට ධනාත්මක හැඟීම් වල තිබෙන අවශ්‍යතාවය දැනෙන නිසාවෙනි. එසේම එවිට, අපේ සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක්ද යොමු වන බැවිනි.

යම් අවස්ථාවකදී අප කෝපයෙන් ගත් තීරණයක් අසාර්ථක වූ විට නැවත වතාවක් එලෙස තීරණ ගැනීමේදී අප මඳක් කල්පනාකාරී වීම මෙයට කදිම නිදසුනකි.

අප ඉපදුණු දා සිටම අපට හැඟීම් දැනුන ද, අප වයසින් වැඩෙත්ම එම හැඟීම් නිවැරදිව හඳුනාගැනීමට සහ අවබෝධ කර ගැනීමට පුරුදු පුහුණු වීම ඉතා වැදගත් වේ. මන්ද යත්, එය අපටත්, අප වටා සිටින අයටත්, සුන්දර මෙන්ම අර්ථවත් ජීවිත ගත කිරීමට උපකාරී වන නිසාවෙනි.

ඒ සමගම ඔබට ඔබේ හැඟීම් හඳුනා ගැනීමට උපකාර විය හැකි ක්‍රියාකාරකම් මාලාව මෙම ලින්ක් හරහා download කර ගන්න.

ඔබේ ඉගෙනුම් අත්දැකීම පිළිබඳව අපට කියන්න

--

--